ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන කංසා ආශ්‍රිතව විවිධ නිෂ්පාදන සිදුකරමින් ප්‍රදර්ශනයක් පවත්වමින් කංසා ප්‍රවර්ධනය කළ මහාචාර්යවරයෙකු ලුණුගම්වෙහෙර පොලිසිය විසින් පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ප්‍රදර්ශනයේ තිබූ කංසා ගසින් ලබා ගන්නා කෙඳි විශේෂයකින් සාදන ලද රෙදි පිළි, කංසා යොදා ගනිමින් කරන ලද විසිතුරු භාණ්ඩ, කංසා පටක යොදා නිෂ්පාදනය කරන ලද යට ඇඳුම්, ගමන් මලු මෙන්ම සුවඳ විලවුන් වර්ග,ආලේපන වර්ග ඇතුළත් කංසා ආශ්රිත නිෂ්පාදන දෙසිය පනහකට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ඉහළයෑගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මහාචාර්යවරයකු බව ලුණුගම්වෙහෙර පොලිසිය සඳහන් කරයි.
ලුණුගම්වෙහෙර රණවර්ණාව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන සිටින මහාචාර්යවරයකු විසින් කංසා ආශ්‍රිතව කරන ලද විවිධ නිෂ්පාදන ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙන බවට ලුණුගම්වෙහෙර පොලිසියට තොරතුරු ලැබී තිබුණු අතර ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන වික්‍රමරත්න විසින් පෙරේදා 20 වැනිදා එම ප්‍රදර්ශනය නැරඹීමට ගොස් කංසා ප්‍රවර්ධනය කිරීමේ චෝදනාව මත සැකකාර මහාචාර්යවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම ප්‍රදර්ශනයේ ලොව දියුණු රටවල්වල කංසා ආශ්‍රිතව නිෂ්පාදනය කොට ඇති පාන වර්ග මෙන්ම නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට තබා තිබූ බව පොලිසිය කීය. ඒ අතර කංසා ආශ්‍රිතව ඇමරිකාවේ නිෂ්පාදනය කරන ලද ටින්ක්ව වර්ගය පාන හතරක්, ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත කංසා අඩංගු වයින් බෝතල් කිහිපයක්, නෙදර්ලන්තයේ නිෂ්පාදිත කංසා අඩංගු සක්තිජනක පානයක්, ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදිත කංසා අඩංගු අයිස් තේ පානයක් ද ප්‍රදර්ශනය කර තිබී ඇත.
පනස් හැවිරිදි සැකකාර මහාචාර්යවරයා ඉහළ යෑගොඩ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ප්‍රදේශයේ ගොවි මහතුන් කීපදෙනෙකු සමග එකතු වී 2021 වසරේ සිට කංසා වගා කරන අවස්ථාවල ගත් ඡායාරූපද මෙම ප්‍රදර්ශනයේ තබා තිබුණි. ඔහු විසින් කංසා සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ තොරතුරු මෙන්ම ග්රන්ථ හා ලිපි ප්‍රදර්ශනයට ඇතුළත් කිරීමටද කටයුතු කර ඇත.
කෙසේ වෙතත් කංසා වගා කිරීම ළඟ තබා ගැනීම කංසා ප්‍රවර්ධනය කිරීම නීතියෙන් තහනම් වන බැවින් මහාචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති චන්දන වික්‍රමරත්න සඳහන් කළේය. සැකකාර මහාචාර්යවරයා සන්තකයේ තිබී කංසා ග්‍රෑම් අටක් සහ කංසා සුරුට්ටු කිහිපයක් ද සොයාගත් බවත් සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.