මග්ගොනෙ, මුංහේන ප්‍රදේශයේ පෙර පාසල් දැරියක් ජංගම දුරකථනයට විදුලිය ආරෝපණය කර එය නරඹමින් සිටියදී විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අවුරුදු තුනහමාරක් පමණ වයසැති දැරියක් එලෙස මියගොස් ඇති බවයි.
ඊයේ (13) පස්වරුවේ එම දැරිය පෙර පාසල් ගොස් නැවත නිවසට පැමිණ නිවසේ කාමරයක විදුලිය ආරෝපණය කර තිබූ ජංගම දුරකථනයක් නරඹමින් සිට ඇත.
සිය නැඟණිය කතාබහක් නොමැතිව බිම වැතිර සිටින බව දුටු වැඩිමහල් සහෝදරයා ඒ පිළිබඳව පියාට දැනුම් දී ඇති අතර පියා විසින් සිහිසුන්ව සිටි දැරිය බේරුවල මූලික රෝහලට ප්‍රතිකාර සදහා ගෙනගොස් ඇත.
එහිදී රෝහල් කාර්ය මණ්ඩලය දැරියට සිහිය ලබාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරුවත් ඇය ඒ වනවිටත් මෙලොව හැරගොස් තිබිණි.
අනාරක්ෂිත විදුලි සැපයුමක් ස්පර්ශ කිරීමෙන් මෙම දැරියට විදුලි සැර වැදී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.