සුගතදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තරග සඳහා පැමිණ සිටි දැරියන් සූක්ෂම අයුරින් ජංගම දුරකථනය මගින් වීඩියෝ ගතකර ලිංගක අතවර කරන ලදැයි අත්අඩංගුවට ගත් සැකකරුවකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය ඊයේ (18 වැනිදා) නියෝග කළේය.
ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අංක 34, පරණ පාර, හොරණ පදිංචි සුබසිංහගේ ඉසුරු සම්පත් නමැති සැකකරු ලබන 27 වැනි දින තෙක් එලෙස රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළේය.
පිහිනුම් පුහුණුකරුවන් සහ පිහිනුම් තරග සඳහා පැමිණ සිටි දැරියන්ගේ දෙමාපියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයකු වන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
බස්නාහිර පළාත් පිහිනුම් තරගාවලියක් ඉකුත් 15 වැනිදා සුගතදාස පිහිනුම් තටාකයේ පැවැති බවත්, එම තරගාවලියට පැමිණ සිටි දැරියන් තරග ආරම්භ කිරීමට පෙර පිහිනුම් ඇඳුමින් සැරසී ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමවල නිරතව සිටියදී සැකකරු සිය ජංගම දුරකථනය මගින් දැරියන් වීඩියෝ ගත කර ඇති බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී බාල වයස්කාර දැරියන් වීඩියෝ ගතකර තිබූ දර්ශන රැසක් සොයාගත් බවද පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය ලබන 27 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.