බංගලාදේශයේ මෙන් නීතිය, සාමය හා ප්රජාතන්ත්රවාදය අහෝසි කර කැලෑ නීතිය රජයන අති බිහිසුණු සමාජයක් ලංකාව තුළ ඇති කිරීමට අරගලකරුවන් එදා ගත් උත්සාහය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමත් සමඟ ව්‍යර්ථව ගිය බව නාගරික සංවර්ධන හා නිවාස ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා අවධාරණය කරන්නේ අරගලකරුවන්ගේ කුමන්ත්‍රණ පරාජය කර සියළු දෙනාට එක්ව කටයුතු කළ හැකි නව සංස්කෘතියක් මෙරට නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද වනවිට පෙරමුණ ගෙන ඇති බවයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බියගම ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට එක්වෙමිණි.
එම සාකච්ඡාව බියගම පි.ටී. ගාර්ඩ්න් හෝටලයේදී පැවැත්වුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය,
“අද බලන්න බංගලාදේශයේ වෙන දේ. ලංකාවේ වුණ දේම කොපියක් තමයි අද බංගලාදේශයේ වෙන්නේ. මුලින්ම ජනාධිපතිතුමාට ගැහුවා. ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය නැති කළා. ඊට පස්සේ අගමැතිව එලෙව්වා. ඒ අය රටින් පැන්නා. ඒ දේ තමයි අද බංගලාදේශයේ වෙන්නේ.
වාසනාවකට එදා ඒ සිද්ධීන් දෙකම ලංකාවේ වෙනකොට ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාර ගත්තා. අරගලකාරයින්ට පහර දීමකට යන්න බැරි වුණා. ලාල් කාන්ත ඒ කාලේ කියපු කතා රූපවාහිනියේ සමාජ මාධ්‍යවල පෙන්වනවා ඔබ දකිනවා ඇති. ඔහු කිව්වා අපි අරගලය කැදෙව්වා, අපි මේකට ඇතුල්වෙන්න ගියා කියන කතා. එදා පාර්ලිමේන්තුවත් අරගලකාරයින්ගේ අතට ගියානම් මේ රටේ තත්ත්වය මොකක්ද කියලා හිතලා බලන්න.
බංගලාදේශයට වුණේ පාර්ලිමේන්තුවටත් ගැහුවා ගිනි තිබ්බා. මහැ බංකු අධිපතිවරයා අයින් වුණා. නැත්තම් ඔවුන්ගේ ගෙවල් ගිනි තියනවා කියලා ඔවුන්ට තර්ජනය කරලා. අද ඒ රටේ කැලෑ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. මේකම තමයි ලංකාවෙත් වෙන්න තිබ්බේ.
මේක අපිට අලුත් දෙයක් නෙමෙයි 88/89 භීෂණය කාලයේ ජවිපෙ කලෙත් අද බංග්ලාදේශ අරගලකරුවන් කරන දේමයි. තමන්ගේ මතයට ගරු නොකරපු අයව විනාශ කිරීම ඒ අයගේ සාමන්‍ය ක්රමවේදයයි. තමන්ගේ මතයට නැති නිසා බංගලාදේශයේ විශ්ව විද්‍යාලවල දරුවන්වන උඩ තට්ටුවල ඉදන් පහළට විසි කරනවා. ඔවුන්ට කණුවල බැඳලා හිරිහැර කරනවා.
තමන්ගේ කොළ කෑල්ලට කඩ වැහුවේ නැත්නම් බෙල්ල කපලා ලයිට් කණුවල එල්ලපු යුගයක් එදා අපිට තිබුණා. බංගලාදේශයේ අද මිනිස්සු වීශාල ප්‍රමාණයක් ඝාතනය කරලා. පොලිසියේ පවුල් පිටින් මරලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නොසිටින්න ඕකම තමයි ලංකාවේ වෙන්න තිබුණ දේ. එතුමා පාලනය අතට ගෙන දේශපාලන ස්ථාවරය ගොඩ නැගුවා. අද සියළු දෙනාටම එකතු වී වැඩ කරන්න පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරලා දුන්නා. අපේ යුතුකමක් වගකීමක් තියෙනවා කලගුණ දන්නා මිනිස්සු විදියට මේකට අපි උදව් කරන්න. බංගලාදේශය කියන්නේ අපේ රටේ ආර්ථිකය කඩන් වැටුනට පස්සේ අපිට ණය දුන්න රටක්. ඒ රට අද විනාශ වෙනකොට අපේ රටේ ආර්ථිකය ක්රමාණුකූලව ශක්තිමත් වෙනවා. ඩොලර් එක ස්ථාපිත වෙලා කටයුතු කරගෙන යනවා. මොකද මේ රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි.
ඉස්සර කිව්වා කෙළවිලා යන්න හරි මාලිමාවට දෙන්න ඕනි කියලා. මිනිස්සු එහෙම තරහට කිව්වා. මොනවා වුණත් රනිල් මේ රට ගොඩ දැම්මා කියලා ගමේ මතයක් හැදිලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටට යමක් කරන්න පුළුවන් තීරණ ගන්න පුළුවන් නායකයෙක් කියලා මිනිස්සු අතර මතයක් ගොඩනැගිලා විශ්වාසයක් ගොඩනැගිලා තියෙන නිසයි. අපි සියළු දෙනාට එකට එකතු වී වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් අද රට තුළ ගොඩනගලා තියෙනවා.”
මෙම අවස්ථාවට වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සහන් ප්‍රදීප් විතාන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරු පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
– ප්‍රදීප් අනුර කුමාර