“බිලියන ගණන් බදු වංචා කළ කූට ව්‍යාපාරිකයන් ඉදිරියේ මුනිවත රැකීමට එරෙහි වෙමු, ජාවරම්කාරයන්ගෙන් බදු අය කර ගනු” මැයෙන් ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී ඒකාබද්ධ විරෝධතාවයක් පැවැත්විය.
මෙම උද්ඝෝෂණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ, ලංකා බැංකු සේවක සංගමය, රජයේ කළමනාකරණ සේවා සංගමය, ටෙලිකොම් සේවක සංගමය, දුම්රිය ස්ථානාධිපති සංගමය, හරිත පෙරමුණ (වෛද්‍ය පැතුම් කර්නර්), මගෙන් රටට සංවිධානය (සංජය මහවත්ත), අල්ලස දූෂණය නාස්තියට එරෙහි සංවිධානය, හෝටල් සේවක සංගමය, ගුරු සංගමය, විදුලි පාරිභෝගික එකමුතුව, සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුරන්ගේ සංගමය යන දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජනය කරන නියෝජිතයන් ද, ආචාර්ය අජන්තා පෙරේරා, ලැසිල් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී පළ වූ අදහස්
දර්ශන තන්ත්‍රිගේ – විධායක සභික, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය
“අද දවසේදී අපි ආරාධනා කළා අපේ සිවිල් ක්‍රියාකාරීන් සංවිධාන ගණනාවකට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉස්සරහට එන්න කියලා. ඉතාම සාමකාමී විරෝධයක් පවත්වන්නේ. අපි බොහොම ස්තූතිවන්ත වෙනවා පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු පොලිස් නිලධාරීන්ට අපේ ආරක්ෂාව සහතික කරන්න එතුමන්ලා අපි වෙනුවෙන් පැමිණීම සම්බන්ධව.”
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතලා සූත්‍ර ගණනාවක් කියලා තවත් සූත්‍රයක් දානවා අපි දැක්කා ගරු ජනාධිපතිතුමා කිව්වා මේක ඇතුලේ බොහොම අමාරුවෙන් රට හුස්ම ගනිමින් තියෙනවා වගේ කතාවක්. සහතික ඇත්ත. රට ඔය තරමින් හරි තියෙන එක පුදුමයි. පහුගිය අවුරුදු දෙක සම්බන්ධව මේ පිටිපස්සේ තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන විගණකාධිපතිවරයා නිකුත් කරපු වාර්තා දෙකක්. විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හැටියට මහා පරිමාණ ව්‍යාපාරිකයො දෙන්නෙක්ගෙන් විතරක් බදු මුදල රුපියල් මිලියන 5300 කට වඩා අය කරලා නෑ හැබැයි මේ රටේ රුපියල් ලක්ෂෙකට වඩා ආදායම් උපදවන රජයේ සේවකයා පුද්ගලික සේවකයා ඇතුළු හැම කෙනෙක්ම තමන්ගේ වැටුප නිසියාකාරව උපයන විට බද්ධ ගෙවලා තියෙනවා. 106% යි. අපි ආවේ කියන්න මෙන්න මේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ගෙන් ඒ අය කරගන්න ඒවා ගන්න කියලා. දයා ගමගේ පහුගිය දවස්වල මේ ආණ්ඩුවේ සුරතලෙක්. ඔහු ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට බිලියන ගානක පොල්ලක් තිබ්බා. ඉතිරි කිරීමේ බැංකුවේ පාඩුව තමයි දයා ගමගේගේ පොල්ල. අපි කියනවා වික්‍රමසිංහ මහත්තයට පාර්ලිමේන්තුවට ඇවිල්ලා සූත්‍ර කියන්න කලියෙන් ගමගේගේ පොල්ල අරගන්නෙයි කියලා. ඒ වගේමයි අද මෙතෙන්ට අපි ඇවිල්ලා කියන්නේ මේ බදු මුදල් අය කරගන්න කියලා.
“රටට බදු ආදායම් ගේන්න ප්‍රධාන ආයතන තුනයි. රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වගේම ප්‍රධාන ආයතනය තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. එතකොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අපි මේ බලකිරීම කරන්නේ එකතු කරගත්තේ නැති බිලියන 4100 කට වැඩි ආදායම් මුදල් ටික එකතු කරන්න කියන බලකිරීම කරන්න. මේක ඇතුලේ අපි දේශීය ආදායම් නිලධාරී මහත්වරුන්ට කියනවා ඔය සුඩයෝ, හාල්මැස්සෝ අල්ලන්නේ නැතුව, මේ බදු දැලෙන් පැනලා යන, තෝරු, මෝරු අල්ලන්න, ඒ තෝරු මෝරු අල්ලන්නේ නෑ. දයා ගමගේගේ පොලු තියෙනවා. ටිරාන් අලස්ගේ පොලු තියෙනවා. ඒගොල්ලෝ මේවයේ පොලු තියලා. ගිහිල්ලා පිටරටවල් වල මුදල් ආයෝජනය කරනවා. ඉතින් එහෙනම් අපි කියනවා ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න. මිනිස්සුන්ට වේලක් කන්නවත් ආර්ථිකේ නෑ. එහෙනම් මෙන්න මේක ඉෂ්ට කරන්න පුළුවන් ආයතනය මේක. විලිලැජ්ජයි සන්තෝසයි. බදු එකතු කරන් ඉන්න ප්‍රධානියා බල තරුව, බලය තියෙන පුද්ගලයා, ආදායම් කොමසාරිස් අධ්යක්ෂ ජෙනරාල්වරයා, අධ්යක්ෂ ජනරාල් ධූරය හිස් මේකෙ. එතකොට කවුද ඇවිල්ලා මේක එකතු කරන්නේ? එකතු කරන්න කෙනෙක් නෑ. වික්‍රමසිංහ මහත්තයෝ ඔය පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහිල්ලා විකාර කියන්නේ නැතුව, සූත්‍ර පෙන්නන් නැතුව, සමජීවීකතා කියන්න එපා. එතන යුක්තිය නෑ. විෂයභාර අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ තව ඇමතිලා දෙන්නෙක් ඉන්නවා. තාමත් බැරිවෙලා තියෙනවා. මේකේ අධ්යක්ෂ ජනරාල්වරයාව පත් කරන්න. එහෙනම් අපි කියනවා ලොකු කතා නොකිය, තව රැවටිලිකාර හිස් පුස් සේවය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කාලය කන්නේ නැතුව ඉස්සෙල්ලා මෙන්න මේ බදු ටික අයින් කරගන්න. මෙන්න මේකේ මහපුටුව හිස්. පුරප්පාඩුව පුරවන්න. එතකන් මේක මියගියපු ආයතනයක්. ඒක සංකේතවත් කරන්න තමයි අපි මල් වඩමක් තිබ්බේ. ඒ නිසා අපි කියනවා යම් හෙයකින් මේ ආයතනය, මේ බදු හොරුන්ගෙ බදු අය කරන්න කටයුතු කරන්නේ නැත්නම්, ඕක අය කරන දවස වෙනකන් අපි, හැම මාසෙම මෙතන්ට එනවා.”
ලලිත් ධර්මසේකර -සභාපති, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය
“අපි සාමාන්‍යයෙන් හම්බ කරන සල්ලි වලින් පින් කැටේට කීයක් හරි ගහලා එන්නේ උදේට. දේවාලෙට ගියා. කපුවට කීයක් හරි දෙනවා. හාමුදුරුවෝ බණ කිව්වත් පිරිකරක් දෙන මිනිස්සු. අපි මේ රටට වක්‍රව හෝ සෘජුව හෝ හැමදාම වන්දි දෙනවා. දැන් බදු කොච්චර අපි දුන්නත් ප්‍රශ්නයක් වෙනවා. එකක් මේ ආයතනයේ තියෙන ඉතිහාසය ගත්තත්, වර්තමානය ගත්තත් කිසිසේත්ම අපිට සෑහීමකට පත්වෙන්න බෑ. වැට් බදු වංචා කරලා මේවයේ මිනිස්සු හිර ගෙවල්වල ගියා. අද මහා පරිමාණ බදු වංචා කරපු මිනිස්සුන්ගේ, බදු අය කරගන්නේ නැතුව අනිත් සෑම දෙනාගේම, පඩි පතට, සාක්කුවට බැහැලා, පරිප්පු ඇටේ ඉඳන් බදු ගන්නවා. අපිට මේක ඉවසගන්න බෑ. හැමදාමත් බදු බරින්, වැඩිම පීඩා විඳින්නේ, එදා වේල හම්බකරන් කන මිනිස්සු. එහෙමනම්, මේ ආයතනවල තියෙන දුර්වලකම, ඒ විෂයන් තියෙන එකේ හොඳම දේ, දැන් ප්රධානියාත් නැහැලු. අපිට විශ්වාස කරන්න බැහැ. අත්අඩංගුවට අරගෙන හිරබාරයේ ඉන්න එකාව නිදහස් කරන්න සියලුම ආයතන වැඩ කරනවා කියලා පේනකොට, බදු හොරුන්ව ආරක්ෂා කරන්න, මේ ආයතන වැඩ කරනවා කියන එක, ගමක් ගමක් ගානේ, බදු උපදේශකවරු ඉන්නවා. මේ උපදේශක බදු හරියාකාරව ගෙවන්න උපදෙස් දුන්නා නම් මේ අය බදු එකතු කරා නම් මේ ප්‍රශ්නේ එන්නෑ. මේගොල්ලෝ ඔක්කොම එකතුවෙලා කෙලින්නේ අපිට. ඒ නිසා අපි කියනවා මේ ආයතන වල කාර්යභාරය වහාම සක්‍රීය කරන්න. මහ එවුන්ගේ බදු එකතු කරන්නෙත් නෑ. ඒක දෙන්න තියෙන එක ගන්නෙත් නෑ. පොඩි එකාගෙන් හැමදාම ගන්න තියෙන රුපියලේ ඉඳන් අය කරන හින්දා මේක වහාම නැති කරන්න ඕනේ. මේ ආණ්ඩුවේ පුරසාරම් කියවිල්ල අපිට හරියට තේරෙන්නේ නෑ. කවද්ද මේක සක්‍රීය කරලා රටේ බදු අයකර ගැනීම හැමෝටම සාධාරණය විශේෂයෙන් ගෙවන්න තියෙන එවුන්ගේ බදු අරගෙන රටට සාධාරණය ඉෂ්ට කරන්නෙ. අපි කියනවා මේ ආයතන මෙතෙක් කාලයක් සාධාරණය ඉෂ්ට කළේ නැහැ. දැන්වත් මේ රට ගැන හිතලා තමන්ගේ පඩිය ගැන හිතලා, ආයතන ගැන හිතලා, වගකීම ඉෂ්ට කරන්න. හොරු රැක්කා ඇති. ආණ්ඩුවට අපි කියනවා වහාම මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න කියලා.”
ආචාර්ය අජන්තා පෙරේරා
“මේක ඡන්ද ගුණ්ඩු අයවැයක්. එන්න එන්න මේ රට ප්‍රපාතයට දාන අයවැයක් මේක. මේ අයවැය ජනතාවට පිළිගන්නට බැහැ. මොකද ඒකට හේතුව අපෙන් බදු ගන්නවා නම්, ඒක ඵලදායි වැඩපිළිවෙලකට යොදන්න ඕනේ. ඒක කවදාකවත් මිනිස්සුන්ගේ සමෘද්ධිලාභීන්ට කීයක් හරි දීලා විශ්‍රාමිකයන්ට කීයක් හරි දීලා සතුටු කරන්න බෑ. ඒ නිසා 2024 තියෙන ජනාධිපතිවරණය දිහා බලලා පාර්ලිමේන්තු මැතිවරණය දිහා බලලා තමයි මේ සම්පූර්ණ අයවැය හදලා තියෙන්නේ. මේක මහා අපරාධයක්. මොකද බැංකුවට ණය ගන්න තවත් ණය ගත්තහම දෙයියෝ සාක්කි කවුද මේ ණය ගෙවන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙදර ගිහිල්ලා නිදාගනියි. හැබැයි අපේ දරුවෝ වෙනුවෙන් ණය ගෙවන්න වෙන්නේ. ඒ නිසා තවත් ණය අපිට එපා. අපිට ඕනේ රට දියුණු කරන අයවැයක්. ආයෙ බදු ගහන්න එපා. අපිට වැඩක් නැහැ කවුද පාර්ලිමේන්තු යන්නේ කියලා. අපිට ඕනේ හොඳ රටක්. මේ මිනිස්සුන්ට අයිති රට. ලංකාවටම ගෙනාපු අයවැයක් කියලා හිතෙනවද? කිසිම මොලයක් නැතුව ඇත්තම කියනවා නම් මේක රාජපක්ෂවරුන් හදපු අයවැයක්. අපිට මේ සෙල්ලම් ඕන නෑ හලෝ. අපිට ඕනේ රටට ඕනේ දියුණුවක්. අපි 2024 හොඳ අවුරුද්දක් කරගන්නවා. අපිට ඕනේ නැහැ මේ වගේ මිනිස්සුන්ව පාගල දාන්න, මිනිස්සුන්ව ගොනාට අන්දන අයව අපිට ඕනේ නැහැ. දහදාහක් වැඩි කරලා. ඇත්ත වශයෙන්ම ටික දෙනෙක්ට දහදාහක් වැඩි කරනවා යනවා කඩේට බඩු ටිකක් ගන්න. බඩු ටිකක් අරන් යන්න විදිහක් නැති වෙච්චහම ගෙදර එනවා. පාරේ ඉන්න දුප්පත් මිනිහට යාචකයාට මොකක්ද මේකෙන් ලැබෙන්නේ? දහදාහක් හම්බ වෙන්නේ නෑ. බස් එකේ යන මනුස්සයට දහදාහක් හම්බෙනවද? වෙළදාම කරන අර කුඩා වෙළඳාම කරන මිනිහෙක්ට දහදාහක් හම්බවෙන්නේ නෑ.”
පැතුම් කර්නර් – නායක, ජාතික හරිත පෙරමුණ
“අයවැයේ තියෙනවා රජයට ලැබෙන ආදායම් ආසන්නව ගත්තොත්, බිලියන 4000 ක්. රජයට ලැබෙනවා වගේ දෙගුණයක් රජය වියදම් කරනවා. මේක තමයි ආර්ථික අර්බුදයේ රෝග නිධානය. ඒ කියන්නේ අයවැය හිඟය. රජයට ලැබෙනවාට වඩා වැඩි මුදලක් එහෙම පිටින්ම තව ගුණයක් ඒගොල්ලෝ වියදම් කරනවා. ඉතින් මේ වැඩිපුර වියදම අඩු කරගන්න අයවැයක් අපිට ඕනේ. ඒ වගේම රජයට ලැබෙන මේ අඩු ආදායම වැඩි කරගන්න සැලසුමක් ඕනේ. ඉතින් මේ රජයට ලැබෙන අඩු ආදායම වැඩි කරගන්න තියෙන එකම උපක්‍රමය ඒගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ දැනට තියෙන වැට් බද්ද 15% ඉඳලා 18% දක්වා අරගෙන යන එක විතරයි. ඉතින් පොඩි ළමයෙකුත් දැන් රටේ දන්නවා. වැට් බද්ද 18% දක්වා ගෙනිච්චහම මේක වදින්නේ දුප්පතාගේ බඩට කියලා. ඉතින් අපි කතා කරන්න ආවේ මෙච්චර රටේ බදු ආදායමක් ලබා ගන්න හැකියාවක් තියෙද්දී ඒකට මෙච්චර ලොකු තඩි ආදායම් ලබන්න පුළුවන් මෙච්චර ලොකු සෙනඟක් නඩත්තු කරගෙන, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තියාගෙන ඉන්නැද්දි මේ ආදායම වැඩි කරගන්න, මේ බදු දැලෙන් පැනලා යන, තෝරු, මෝරු අල්ලන්නෙ නැතිව පුංචි හාල්මැස්සන්ගෙන්ම තවදුරටත් වැට් බද්ද ගහලා මේ රජයේ ආදායම වැඩි කරගන්න හදන එක සාධාරණද? බදු ගෙවන මිනිහටම කරට තව චුට්ටක් හරි වැට් බද්ද එකතු කරන එක සාධාරණ නෑ. ඒ හින්දා මේ බදු දැල ශක්තිමත් කරන්න ඕනේ. ඒකට මේ අවුරුදු හැත්ත පහක් තිස්සේ තිබ්බ රජයන් මේ බදු ක්‍රමය නිවැරදිව ක්‍රියාත්මක කරලා නෑ. ඒකට තිබ්බ එකම ආයතනය තමයි මේ ආයතනය. හැබැයි අපි දන්නවා අයි. එම්. එෆ්. එකෙන් කියනවා යෝජනා දාසය ඇතුලේ රටේ බදු ආදායම එකතු කරන රේගුවයි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි, හොරු රැලක් කියලා. දූෂණ, වංචා වලින් පිරිච්ච ආයතන කියලා. ඉතින් රටට ලැබෙන බද්දවත් හරියට එකතු කරගන්න බැරිනම්, ඒක හොරා කනවා නම්, හරියට නිකන් අරන් වී අටුවකට දාපු වී ටික මීයෝ කනවා වගේ, මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගු තියාගෙන, රටකට, හොඳ ආදායමක් ඉතුරු කරගන්න බෑ. ඉතින් ඒ වංචා, දූෂණ නිවැරදි කරන්නේ නැතුව, ඒ හොරාකන ටික එකතු කරන්නේ නැතුව, මේ පැනලා යන තෝරු, මෝරු අල්ලන්නේ නැතුව, හාල්මැස්සෝ විතරක් අල්ලලා රටට ආදායම දියුණු කරන්න බැහැ. අපි කියන්නේ මේ ආයතනයට වගකීමක් තියෙනවා මේ බදු ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කරලා මේ තෝරු, මෝරු අල්ලගන්න.”
ඉංජිනේරු සුමේධ රත්නායක – ජාතික සංවිධායක, එක්සත් ජනරජ පෙරමුණ
“මෙවර 2024 අයවැයෙන් අමතරව වියදම් විදිහට රුපියල් බිලියන 400 ක මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා සහ විශේෂයෙන්ම මේ අස්වැසුම වෙනුවෙන් වියදම් කරන රුපියල් බිලියන 180 සඳහා මේ රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම අත්‍යවශ්‍ය දෙයක්. අපි ඒක දකිනවා. එහෙම වැඩි කරේ නැත්තං මිනිස්සු බොහොම අමාරු තත්වයකින් තමයි හිටියේ. හැබැයි මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවැරදිව ක්‍රියාත්මක වෙලා මේ අමතර ආදායම ඉපයුවේ නැත්නම් රජය විදිහට ආණ්ඩුව මැදිහත් වෙලා සෘජු ලෙස මේ ආදායම් එකතු කිරීමට එකතු කළේ නැත්නම් නැවත වතාවක් සෘජුවම අත්‍යවශ්‍ය භාණ්ඩ මතට බදු පැනවීම විදිහට තමයි මේ බද්ද ජනතාවගේ කර මතටම පැටවෙන්නේ. ඒ නිසා අපි මෙතනට අද පැමිණ අවධාරණය කරන්නේ මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ, ඉහළ නිලධාරීන් මේකේ ඉන්න හැමෝම නිලධාරියාම දූෂිතයෙක් නෙමෙයි අපි ඒක කියන්න ඕනේ. නමුත් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා. මේ තෝරු, මෝරුන්ට මේ දේ දැලෙන් රිංගලා යන්න ඉඩ දෙන. ඒ නිසා රටට විශාල ධනයක් අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අන්න ඒ ධනය ආදායම රජය වැඩි කරගන්න, ආණ්ඩුවට මැදිහත් වෙන්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඒ සඳහා ක්‍රියා කරන්න. ක්‍රියාත්මක වෙලා ඒ අවශ්‍ය ආදායම උපයා ගන්න. එහෙම නැත්නම් මේ අය වැය සිද්ධ කරන්නේ මේ අත්‍යවශ්‍ය බඩු මත පදවන බදු නැවත උපයාගෙන ආපහු ජනතාවට ගෙවීමක් ඒකෙන් ඇති ප්‍රතිඵලයක් නෑ. ඒ නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ සඳහා මැදිහත් වෙන්න. බදු ආදායම විධිමත් කරන්න කියලා පණිවිඩය දෙන්න තමයි අද අපි මෙතෙන්ට ආවේ.”
ධනංජය සිරිවර්ධන, ලංකා බැංකු සේවක සංගමයේ ලංකා බැංකු ශාඛාවේ ලේකම්
“ඊයේ ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරමින් කියනවා. මේ රටේ බදු ආදායම මදි. රාජ්‍ය සේවකයින්ට පඩි වැඩි කරන්න නම්, ජනතාවට සහන දෙන්න නම්, බදු වැඩි කරන්න ඕන. එහෙම නැත්නම් සල්ලි අච්චු ගහන්න ඕනේ කියලා. අපි කියනවා ජනාධිපතිතුමාට බදු වැඩි කරන්න ඕනෙත් නෑ. සල්ලි අච්චු ගහන්න ඕනෙත් නෑ. නිසි ආකාරයෙන් දේශීය ආදායම දෙපාර්තමේන්තුව හරහා බදු අය කර ගැනීම කළොත්. රටේ ජනතාවට සහන දෙන්න හැකියාව තියෙනවා. අපි එහෙම කියන්නේ පසුගිය කාලය තුළ බිලියන ගණන්, ට්‍රිලියන ගණන් බදු අයකර ගැනීම් නතර කරලා, වංචාකරුවන්ට, දේශපාලන හිතවතුන්ට, ඒ වගේම ගජමිතුරන්ට සහයෝගය දීලා තියෙනවා මේ රටේ පාලකයින්. ගිය ජනවාරි පළවෙනිදා ඉඳන් උපයන විට බදු, රටේ වෘත්තිකයන්ට අය කිරීම තුළින්, පසුගිය කාලය තුළ රජය බලාපොරොත්තු උනාටත් වඩා අදායමක් උපයා ගන්න හම්බවෙලා තියෙනවා. ඒ උපයන විට බදු අයකර ගැනීම තුලින් රාජ්‍ය සේවකයින්ගේ. ඉතින් එහෙම නිසියාකාරයෙන් බදු අයකරගෙන ආදායම බලාපොරොත්තු උනාට වඩා ලබාගන්න රජයට හැකියාව ලැබුනා නම්, මේ බදු වංචා කරුවන්ගෙන් බදු නිසියාකාරයෙන් අය කළොත් රජයට අවශ්‍ය ආදායම් උපයාගන්න ප්‍රශ්නයක් වෙන්නෑ. ඒ නිසා අපි කියනවා, ලංකා බැංකු සේවක සංගමය විදිහට මේ හොරුන්ගෙන් දේශපාලඥයින්ගෙන්, වංචාකාරයින්ගෙන්, හිතවතුන්ගෙන් බදු අයකරගෙන, නිසි බදු අයකර ගැනීම සිද්ධ කරලා, මේ රටේ ජනතාවට සහන දෙන්න. එහෙම නැත්නම්, අපි ඉදිරියේදී මීට වඩා ජනතාවත් එක්ක පාරට බැහැලා, ඊට එරෙහිව කටයුතු කරන්න සූදානමින් ඉන්නවා.”
දර්ශන තන්ත්‍රිගේ
ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකය