ඉන්දියාවෙන් හා වෙනත් රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු තොග ගබඩාවල රඳවාගෙන සීමිත ප්‍රමාණයක් රුපියල් 600 බැගින් හෙට සිට විකුණන ලෙසත් ඉන්දියාවේ සිට ලොකු ලූනු එවන ව්‍යාපාරිකයන් දැනුම් දුන් බව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන වෙළෙන්දෝ පවසති.
ඉන්දියාවෙන් ගෙන්වා ඇති සියලු ලොකු ලූනු තොග අයිතිකරුවන් ඉන්දියාවේ ව්‍යාපාරිකයන් බවත් එම ව්‍යාපාරිකයන් කියන මුදලට පමණක් තමන්ට ලූනු අලෙවි කිරීමට සිදුව තිබෙන බවද ඔවුහු අවධාරණය කරති.
ඉන්දීය ව්‍යාපාරිකයන් තමන්ට පවසන්නේ තවදුරටත් ලොකු ලූනු මිල ඉහළ දමන බව යැයි ද දඹුල්ලේ තොග වෙළෙන්දෝ පවසයි.
දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග ගබඩාවල විශාල වශයෙන් ලූනු ගබඩා කර වෙළෙඳපොළේ ලොකු ලූනු හිඟයක් ඇතිකර ඉතා සූක්ෂ්ම ලෙස ලංකාවේ කීප දෙනෙකු සහ ඉන්දියාවේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකු එක්ව ලොකු ලූනු මිල ඉහළ දමා ජනතාව සුරාකෑමට ලක් කරන මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් ලොකු ලූනු තොග වෙළෙන්දෝ පවසති.
මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සල්වල ලොකු ලූනු අලෙවියට සීමිත ප්‍රමාණයක් පෙන්වමින් ලොකු ලූනු තොග ගබඩාවල සඟවා තිබෙන බව ද එම වෙළෙන්දෝ පෙන්වා දෙයි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙන්ම අවට ප්‍රදේශවලින් විශාල වශයෙන් තොග ගබඩාවලින් විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකු ලූනු ගබඩා කර තිබෙන බවත් ඒවා ඉතා සූක්ෂ්ම ලෙස හිඟයක් මවා පාමින් විශාල ලාභයක් තබාගෙන අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදු කරන බවත් වාර්තා වේ.