May 23, 2024 2:17 pm
Facebook
Twitter
WhatsApp
රට කැළඹූ විමල්ගේ ‘නවය සැගවුණු කතාව’ මෙන්න.

රට කැළඹූ විමල්ගේ ‘නවය සැගවුණු කතාව’ මෙන්න.

රට කැළඹූ විමල්ගේ ‘නවය සැගවුණු කතාව’ මෙන්න.

යම් සමාජයක් ආරක්ෂා කර ගත හැක්කේ එහි දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමෙන් බවත් ඒ අනුව යමින් “විෂම රැලි – කුණාටුවලට ගොදුරුවීම වළක්වා” ලාංකේය සමාජයේ දේශපාලන සාක්ෂරතාව බලගැන්වීමේ අරමුණින් “නවය; සැඟවුණු කතාව” කෘතිය ජනගත කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී තමන් විසින් “ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය” පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ “නවය; සැඟවුණු කතාව” පර්යේෂණාත්මක කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ගාලුමුවදොර අරගල සුළියට හසුව” තම දිවිසැරිය අකාලයේ අහිමිව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ පුතණුවන්ට, රඹුක්කන චමින්ද ලක්‍ෂාන් මහතාගේ බිරිඳට හා දියණියට කතුවරයා අතින් ප්‍රථමයෙන් කෘතිය පිළිගැන්විණි.

කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ආරාධිත දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් සිදු කළ අතර පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර නාහිමි, මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි, කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය මල්වානේ චන්දරතන නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, නිදහස ජනතා සභාවේ නායක, ඩලස් අලහප්පෙරුම, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, විජය ධරණී ජාතික සභාවේ නායක, පූජ්‍ය අතුරලියේ රතන හිමි, යුතුකම ජාතික සංවිධානයේ නායක, ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික වීරසුමන වීරසිංහ, ප්‍රියංකර ජයරත්න, ප්‍රේමනාත් දොලවත්ත, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න, ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජාතික සංවිධාන නියෝජනය කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී හූ වෙයි මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

පන්ති භාර ගුරුතුමිය

“ගාලුමුවදොර අරගලයට හය සිට දහය දක්වා පන්තිවල මගේ පන්ති භාර ගුරුතුමිය වූ අප්සරා මිසුත් ගියා. මම ඒකමයි එතුමියට අද එන්න කිව්වේ. යන්න කලින් මට කිව්වේ නැහැ, ගිහිල්ලා ඉවර වෙලා මට කිව්වා, ‘මම ගියා පුතේ, මට දුකයි ඒ තරුණ දරුවෝ ගැන’ කියලා. හැබැයි සද්භාවයෙන් ආපු මැද පන්තික සමාජය එතැන හිටපු මුල් දවස්වල තමයි ඒක සිද්ධ වුණේ. මම ඒ වෙලාවේ ගිය එක හරිද වැරදිද කියලා මොකවත් කියන්න ගියේ නැහැ. ඒක හරි වැරදි කිව්වාට තේරෙන්නේ නැති වෙලාවක්. ගෝලයකුට වුවත් නිවැරදි යමක් ගුරුතුමියකට උගන්වන්න පුළුවන් නම් ඒකත් හොඳ දෙයක්නේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ගෝලයාට, ගුරුතුමියට උගන්වන්න පුළුවන් වෙලාවක්. සමාවෙන්න මිස්, මම වරදක් කිව්වා නම්.

විෂම මනස බලවේගයක් බවට…

ඒ අවස්ථාවේ ආර්ථිකමය වශයෙන් මහා පීඩාකාරී තත්වයක් සමාජයේ ඇති වෙලා තිබුණා. අපි එදා පෙන්වා දුන්නා ‘මේ ආර්ථික අර්බුදය තීව්‍ර වන තෙක් බලාගෙන හිටියොත් සමාජයේ විෂම මනසක් ඇති වෙනවා’ කියා. ඒ විෂම මනසින් ගන්න තීරණ හරි තීරණ වෙන්නේ නැහැ. එදා සමාජය තුළ ඒ විෂම මනස ඇති වුණා. අවසානයේ ඒ විෂම මනස බලවේගයක් බවට පත්ව විනාශකාරී ලෙස හැසිරුණා. නමුත් ඒ විනාශකාරී අත්දැකීම සිදුව වසරක් ගත වෙලා තිබෙනවා. දැන් අපිට අවස්ථාව තිබෙනවා සිහිබුද්ධියෙන්, එම සිදුවීමේ, ප්‍රේක්ෂකයන්, චරිත බවට පත් නොවී, ඒ දිහා ආපහු හැරිලා බලන්න. ඒක දිහා ආපහු හැරිලා බලලා, නිවැරදි අවබෝධය ලබා නොගත්තොත් අපි විශාල විපත්තිදායක අනාගතයක ගොදුරු බවට පත්වෙනවා. ඒක වළක්වන්න බැහැ.

‘මයිදාන් – ගාලුමුවදොර’ සමානකම්

මගේ කතාවට පෙර පෙන්වන ලද වාර්තාමය වීඩියෝ දර්ශන මගින් තමුන්නාන්සේලා දැක්කා, යුක්රේනයේ සිදුවූ ‘මයිදාන් අරගලය’ කියලා එකක්. ඒ මයිදාන් අරගලයත් ගාලුමුවදොර අරගලයට බොහෝ සෙයින් සමානයි. සීත කාලයේ යුක්රේනයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරුණ තරුණියන් ‘මයිදාන් උද්‍යානයට’ ආවා. මුලින් මහා ගොඩක් ආවේ නැහැ. ඇවිල්ලා ‘යුරෝපා සංගමයට එක්වෙනු! කියන සටන් පාඨය ගෙනාවා. බලන්න, යුක්රේනය යුරෝපා සංගමයට එකතු කරන්න කාටද ඕනෙ වුණේ? යුක්රේනයේ සියයට හැට ගණනක් ඉන්නේ ඕතඩොක්ස් ආගම අදහන අය. රුසියාවෙත් අතිමහත් බහුතරය ඕතඩොක්ස් ආගම් අදහන අය. මේ දෙගොල්ලෝ අතර තියෙන බැඳීම ඓතිහාසිකව බැඳීමක්.

අපූරු ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීම

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය පහුකාලීනව කියනවා,’1991 සිට මයිදාන් අරගලය දක්වා වූ කාලය තුළ යුක්රේනයේ ප්‍රජාතන්ත්‍රවාදය බලගැන්වීම සඳහා අපි ඩොලර් බිලියන් පහක් වැය කළා.’ කියා. යුක්රේනය, රුසියාවට විරුද්ධ තත්වයකට පත්කර ගැනීමට තමයි එයා ‘ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වනවා’ කියන්නේ. ඒකට ඇය සමත් වුණා. පසුකාලීනව වික්ටෝරියා නූලන්ඩ් මැතිනිය සහ මයිදාන් අරගලය සිදු වන අවස්ථාවේ යුක්රේනයේ හිටපු ඇමරිකානු තානාපතිවරයා අතර සිදු වූ දුරකථන සංවාදයක් එළියට ආවා. ඒ සංවාදයේදී ඒ දෙන්නා කතා වෙනවා ‘රුසියාවට හිතවාදී ජනාධිපති පලා ගිහිල්ලා. දැන් අපි උඩට ගන්නේ මේ අයගෙන් කොයි කෙනාද?’ කියා. එදා යුක්රේනයේ කතා කළේත් කතානායකට. මෙහේ කතා කළේත් අපේ කතානායකට. දැන් හැමෝම සාක්ෂි ඉල්ලනවානේ. ඉතින් ඒක එක සාක්කියක්. මෙහෙත් දුරකථන ඇමතුම් එළියට එනකම් අපි මේක තේරුම් නොගෙන ඉන්න ඕනේ ද?

‘නොදැනුවත් ගොදුරු – දැනුවත් පාපතරයන්’

අපි ශ්‍රී ලංකාවේ දේශපාලනය කරනවා නම් ගෝලීය බල දේශපාලනය සිද්ධ වෙන විදිහ තේරුම් ගන්නේ නැතුව, ඒක ඇතුළේ අපේ කතාව කියවා ගන්නේ නැතුව දේශපාලනය කරන්න ගියොත් එක්කෝ අපි නොදැනුවත් ගොදුරු බවට හෝ දැනුවත් පාපතරයන් බවට හෝ පත්වෙනවා. ඒ නිසාම තමයි අපි තීරණය කළේ ‘මේ ගෝල්ෆේස් අරගලය ඇතුළේ තියෙන කතාව හරියට එළියට දාන්න ඕනේ’ කියලා. ඒක ගෝල්ෆේස් අරගලයට සද්භාවයෙන්, මේ කිසිත් නොදැන දායක වූ මිනිස්සු කිසිම ලෙසකින් ප්‍රතික්ෂේප කිරීමක් නොවෙයි. අපි වලකට වැටුණොත් මොළයට ලාභයක් කරගන්න ඕනේ.

බහුධ්‍රැවීය ලෝකයක් බිහිවීමේ ප්‍රසව වේදනා…

මහාචාර්ය ටියුඩර් වීරසිංහ මැතිතුමන් බොහොම පැහැදිලිව තම දේශනයෙන් පෙන්වා දුන්නා ලෝකයේ අද පවතින බල දේශපාලන යථාර්ථය පිළිබඳව. ඒක හරියට තේරුම් ගත්තොත් තමයි අපිට මේ පොතේ තිබෙන කතාවත් හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සෝවියට් සංගමය බිඳවැටීමෙන් පස්සේ අපි ජීවත් වන්නේ ඒකධ්‍රැවීය, ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් අතේ කේන්ද්‍රීය බලය පවතින ලෝකයක. ඔබ දන්නවා, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පස්සේ තමයි ඔය ‘වර්ණ අරගල’ ආවේ. මුලින් අරාබිකරයට ආවා. පසුව තවත් රටවලට ආවා. ඒ ‘වර්ණ විප්ලවවලින්’ ඒගොල්ලොන්ට නටවන්න පුළුවන් පාලනතන්ත්‍ර අටවාගත්තා. සමහර වෙලාවට ජාතික රාජ්‍යයන් නැත්තටම නැති කළා. ඒ ගෙවුණු කාලය ඇතුළත ලෝකය පුරා යුද ගැටුම් 100කට වඩා ඇති වුණා. මේ අය ලෝකයේ රටවල් ඇතුළේ යුද්ධ අවුලුවනවා. දැන හෝ නොදැන ඒ රටවල ඇතමුන් ඒවා තුළ තම භූමිකාවන් ඉටු කරනවා. මෙන්න මේ තත්වය අභියෝගයට ලක්කරමින්, බහුධ්‍රැවීය ලෝකයක් නිර්මාණය වීමේ විලිරුදාවෙන් පෙළෙන අවස්ථාවකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ ප්‍රසව වේදනාව විවිධ පැතිවලින් අපට ඇහෙමින් තිබෙනවා.

අප්‍රිකාවේ ‘බටහිර කලබලේ’

2023-04-16 වැනිදා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා බීජිංවලට එන්න ඉල්ලීමක් කළාම චීනය ඒක ප්‍රතික්ෂේප කළා. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. නමුත් අපේ මාධ්‍යවලට ඒක ‘නිව්ස් එකක්’ නොවෙයි. ඒ නිසා අපි ඒවා දන්නේ නැහැ. සුඩානයේ මේ මොහොතේ සිද්ධ වෙමින් පවතින්නේ කුමක්ද? ප්‍රවෘත්ති යනවා හාරසිය ගණනක් මැරුණයි කියලා. මුලින්ම සුඩානය දෙකට කැඩුවා ඉස්ලාම් සහ කතෝලික හැටියට. ඊට පස්සේ හිටපු ජනාධිපතිවරයා ඒකාධිපතියකු යැයි කියා පන්නා දමා අලුත් කෙනෙකු පත් කළා. එයාව පන්නලා හමුදාවේ කෙනෙක් දැන් බලය ලබා ගෙන තිබෙනවා. එයා රුසියාව පැත්තට බරයි. එයාට විරුද්ධව තමයි RSF(Rapid Support Forces) කියන සන්නද්ධ කණ්ඩායම් හැදුවේ. දැන් ඒගොල්ලෝ බලනවා ජනාධිපති මන්දිරයයි, ගුවන් තොටුපළයි අල්ලලා එතැන බලය අතට ගන්න. බටහිර බලවතුන් දැන් කලබල වෙලා තිබෙනවා. ඒ අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් අද බටහිරින් මිදිලා. චීනය සහ රුසියාව පැත්තට හැරීම නිසායි. එම රටවල් අලුත් ආර්ථික දියුණුවක් අත්පත් කර ගනිමින් නැඟිටිනවා.

සුඩානයෙන් ‘මැච් එක’ අරඹලා

දැන් බලන්න, රුවන්ඩාව කියන්නේ ගෝත්‍රික මරාගැනීම් තිබුණු රටක්. අද රුවන්ඩා ජනාධිපති සම්පූර්ණයෙන් බටහිරින් අත්මිදිලා චීනය සහ රුසියාවත් එක්ක අත්වැල් බැඳගෙන ඒ සමාජය දියුණු කරනවා; රාජ්‍යය බලගන්වනවා. දැන් බටහිර බලවතුන්ට අලුත් වටයකින් අප්‍රිකාව අස්ථාවර කරන්න ඕනේ . ඒකට එහෙනම් සුඩානයෙන් තමයි මැච් එක පටන් ගන්න ඕනේ. සුඩානයේ ඔය RSF එකේ ඉන්න අය දන්නවාද ඕක? ඒ නිසා අපි මේ තත්ත්වය ගැඹුරින් තේරුම් ගන්න ඕනේ. අනික අපේ රටේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් තිබෙනවාද? ඉන්දියාවේ නම් මොනවා වුණත් ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් තිබෙනවා. මෙහේ මොකද්ද කරන්නේ? මොකක් හරි ඕපාදූපයක් අරන් ඒක ‘පැකට් කරලා’ අපිට පොවන එක. ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නැතිකම හින්දා මේ ලෝකේ සිද්ධ වෙන ගොඩක් දේවල් අපිට සන්නිවේදනය වෙන්නේ නැහැ. සන්නිවේදනය වුණත් අර බටහිරින් දීපු අර්ථකථනය ඇතුළේ තමයි ඒක එන්නේ.

වොෂින්ටන් පරදන බීජිං

එක කාලයක් තිබුණා, ලෝකයේ නායකයන් ඇමරිකාවට යනවා, එහේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් වෙනවා, සාකච්ඡා වෙනවා. ඕවා තමයි ගොඩක් ප්‍රවෘත්ති හැටියට එන්නේ. දැන් මේ මෑත කාලයේ මොනවාද ප්‍රවෘත්ති? ප්‍රංශය ගිනි ගනිද්දී, ප්‍රංශ ජනාධිපති චීනයට යනවා. එයා බීජිංවලට ගිහිල්ලා එන ගමන් ඇමරිකාවට පොඩි ටොක්කකුත් අනිනවා මාධ්‍ය සාකච්ඡාවකදී. පසුගිය සති කිහිපය විතරක් ගත්තත් මැලේසියානු අගමැති චීනයට ගියා. බ්‍රසීල ජනාධිපති චීනයට ගියා. දැන් වොෂින්ටනයට යනවාට වඩා යන්නේ බීජිංවලට. ඒකට හේතුව මොකක්ද? ඒ නායකයන්ට පෙනෙනවා, අලුත් බහුධ්‍රැවීය බලයක් නිර්මාණය වෙනවා; ඒක ශක්තිමත්ව ඉදිරියට එනවා. ඒක හරියට තේරුම් ගත්තොත් විතරයි අපේ රාජ්යයන් ස්ථාවරව ආරක්ෂා කරගෙන, බලගන්වන්න පුළුවන් වෙන්නේ.

බ්‍රසීලය ඩොලරය මඟහැරලා

දැන් මේ වෙලාව වෙනකොට ඇමරිකානු ඩොලරය මගහැරලා බ්‍රසීලය තමන්ගේ රටේ ගනුදෙනු කරනවා චීනයත් එක්ක. බ්‍රසීලය කියන්නේ ලෝකයේ විශාල වෙළඳපොළක්. 2023 ලූලා ද සිල්වා යළි බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වුණු ගමන්ම ලංකාවේ වගේම යම් පිරිසක් ගියා මන්දිර අත්පත් කරගන්න. නමුත් ලූලා ජනාධිපතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා වගේ ඒක දිහා බැලුවේ නැහැ. ඒක වෙන විදිහකට කළමනාකරණය කළා.

BRICS සූදානම්

දැන් ලෝකයේ BRICS කියලා අලුත් අවුලක් හැදිලා තිබෙනවා .බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව යන රටවල් ඊට අයත්. ඒ BRICS හවුලෙන් ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අලුත් මුදල් ඒකකයක් නිර්මාණය කරමින් සිටිනවා. දැන් මැලේසියාව සහ චීනය ගනුදෙනු කරන්නේ තමන්ගේ මුදල් ඒකකවලින්. මැලේසියානු අගමැතිවරයා චීන ජනාධිපතිවරයා හමු වුණාම යෝජනා කරනවා, ‘ආසියානු මුල්‍ය අරමුදලක් හදමු!’ කියා. චීන ජනාධිපතිවරයා ඒකට එකඟ වෙනවා. මේ අලුත් වර්ධනයන්, මේ ගතිකත්වයන් තේරුම් නොගෙන, බටහිර ඒ පරණ වලව්ව, ඒ හොල්මන් මන්දිරය දිහා බලාගෙන, හතරගාතෙන් වැටීගෙන, මල් පහන් පූජා කළාට වැඩක් නැහැ. එතැනට මල් පහන් පිදුවයි කියලා නැගිටින්න දෙන්නෙත් නැහැ.

ගාමිණී සෙනරත්ගෙන් ලියුම් දෙකක්!

මම මේ පොතෙන් අනාවරණය කරනවා, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න තීරණය කරලා, පලා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඇමෙරිකාවත් ඔහුගෙන් ඉල්ලා සිටියා කියා, ‘ඔයා ඉල්ලා අස්වෙන්න කලින් අගමැති රනිල්වත් අයින් කරන්න’ යනුවෙන්. එවකට ජනාධිපති ලේකම්වරයා වූ ගාමිණී සෙනරත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් අයින් කරන ලියුම සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලියුම යන දෙකම හදලා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්සන් කළේ එයාගේ ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. ඒ අතරතුර රනිල් වික්‍රමසිංහගේ ගෙදරත් ගිනි ගන්නවානේ. සමහරවිට ඒ ගිනි තැබීම කරන්න ඇත්තේ රනිල් මානසිකව බිඳවැටිලා ගෝඨාභය අයින් නොකළත් ඉල්ලා අස්වෙන ලියුමක් දෙන විදිහේ තත්වයකට පත් කරගන්න විය හැකියි. මතක තබා ගන්න මේ වන විට රනිල් වික්‍රමසිංහ අයින් කරලාත් නැහැ; ඉල්ලා අස්වෙලාත් නැහැ.

කතානායක නිල නිවසට ආ ඇමරිකානු තානාපතිනිය…

එවැනි තත්වයක් තිබියදී ඔය වෙලාවේ කතානායක නිල නිවසට ඇමරිකානු තානාපතිනිය එනවා. සමහරවිට කතානායකතුමා හෙට ප්‍රකාශයක් කරයි, ‘එහෙම දෙයක් වුණේ නැහැ’ කියලා. එතුමාම එතුමාගේ සමීපතමයකුට කියපු කතාව මම මේ කියන්නේ. එතුමාට කිසිම හේතුවක් නැහැ එහෙම කතාවක් හදලා කියන්න. ඒ කතාව අනුව කථානායකතුමන් තමන්ගේ පවුලේ ඔක්කොම යවනවා මාතර පැත්තේ ගෙදරකට. එතුමාත් තරමක් තිගැස්මෙන් නිල නිවසේ ඉන්නේ. මොකද ඒ අර පාර්ලිමේන්තුව වට කළ වෙලාව. එහෙම ඉන්නකොට සේවකයකු ඇවිල්ලා කියනවා, ‘ඇමරිකානු තානාපතිතුමිය ඇවිල්ලා ඔබතුමා හම්බවෙන්න ඕනේ කියනවා.’ කියලා. ඉතින් ඒ ගමන කතානායකතුමන් කලබලෙන් පහළ මහලට එනවා. ඇවිත් එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා, ‘දැන් ගෝඨාභය අයින් වෙනවා. ඔබ ජනාධිපති ධුරය භාර ගන්න’ කියා. එතකොට කතානායකතුමා කියනවා, ‘එහෙම කරන්නේ කොහොමද තානාපතිතුමියනි, ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩබලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා.මම කතානායක. එයා ඉන්දැද්දි මට ඒක කරන්න බැහැ.’ කියලා. අවසානයේ දී තානාපතිතුමිය කියන්නේ ‘ව්‍යවස්ථාව වැඩක් නැහැ .අපි ඒක බලාගන්නම්. ඔයා මේක ගන්න’ කියලයි. ඊට කලින් දවසේ කතානායකතුමාට ඔය යෝජනාවම අරගෙන එනවා අපේ රටේ තිබෙන යම්කිසි ආගමික සංස්ථාවක නායකතුමකු සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු. ඔවුන් ඇවිල්ලා කතානායකතුමාත් එක්ක පැය දෙකක් විතර සාකච්ඡා කරලා ඔය යෝජනාවට එකඟ කර ගැනීම සඳහා උත්සාහයක් දරනවා.එතැනදීත් කතානායකතුමා දැරුවේ ඉහත ස්ථාවරය. ඒ අයට බැරි වුණා කතානායකතුමා ඒ වැඩේට එකඟ කරගන්න. ඔවුන්ට බැරි වුණු නිසා තමයි තානාපතිතුමිය, කතානායකතුමා ඉන්නවාද නැද්ද අහන්නෙත් නැතුව එක පාරට තමන්ම ඇවිල්ලා ඉහත කතාව කිව්වේ.

‘ප්ලෑන් ඒ’ මෙන්න

යුක්රේනයේත් මයිදාන් අරගලයෙන් පසු කතානායක තමයි වැඩබලන ජනාධිපති කළේ. ලිබියාවේත් ගඩාෆිවත් මරලා, ජාතික රාජ්‍යය විනාශ කළාම එතැන කථානායක මූලික කොටගත්තා වූ අන්තර්කාලීන පාලනයක් තමයි හැදුවේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, හමුදාවේ ප්‍රධානීන් ඇතුළු ජනාධිපති මන්දිරය ඇතුළේ හිටපු ඔක්කොම මරලා අර බිහිසුණු තත්වය තව සතියක් දෙකක් ඇදගෙන ගිහිල්ලා, මරන්න ඕනේ ලැයිස්තුවක් තව තිබෙනවා නම් ඒ ඔක්කොමත් මරලා මෙහෙ ‘ප්ලෑන් ඒ’ අනුව තිබුණෙත් කථානායක මුල්කොට ගත්තු අන්තර්කාලීන පාලනයක් හදන්න.

අන්තර්කාලීන පාලනයට ෆොන්සේකා සහ ශවේන්ද්‍රත්

ලිබියාවේ වගේම ඒ අන්තර්කාලීන පාලනයේ සරත් ෆොන්සේකා ඉන්න පුළුවන්. දැන් ඉන්න යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාත් අනිවාර්යෙන් එතැන ඉන්නවා. මේක අති බිහිසුණු මොහොතක් වුවත් ශවේන්ද්‍රට 2022 ජූලි 09 වැනිදාට කලින් හදිසියේම ඉන්දියාවෙන් ආරාධනා පත්‍රයක් එනවා, ඉන්දියාවේ මොකක්ද එහෙකට එන්න කියලා. ඒ හින්දා ඒ සිද්ධිය වන වෙලාවේ එයා හිටියේ ඉන්දියාවේ. හැබැයි අනෙක් ඔක්කොම හමුදා ප්‍රධානීන් ජූලි 09 වැනිදා ඒ බිහිසුණු පැයේ හිටියේ ජනාධිපති මන්දිරය ඇතුළේ. එයා එනකොට වැඩේ වෙලා ඉවරයි. ශවේන්ද්‍රත් එක්ක මට කිසිම පුද්ගලික ආරවුලක් නැහැ. ඒ මනුස්සයාට ජිනීවාවලිනුත් සෑහෙන චෝදනා මාලාවක් එල්ල කරලා තිබෙනවා. ඒ චෝදනා මාලාව එල්ල කරන්නේම මේ විදියට හසුරුවා ගන්න.

‘ගෝඨාභයවත් පාලනය කළා’

මේ හැමෝගෙම තියෙන ‘බොටම් ලයින් එක’ තමයි, ‘කොහොමහරි ඇමරිකාව ෂේප් කරගන්න ඕනේ’ කියන එක. ගෝඨාභය රාජපක්ෂවත් හසුරුවන ලද්දේ ජුලී චන්ග් ඇමරිකානු තානාපතිවරියයි. ගෝඨාභය රාජපක්ෂගේ හිත ඇතුළේ තිබු ප්‍රධාන වුවමනාව තමයි විශ්‍රාම ගියාට පස්සේ ඇමරිකාවට ගිහිල්ලා සුවෙන් ජීවත් වීම. ඒක නිසා ඔහු අනිවාර්යයෙන් ඇමරිකානු තානාපතිතුමිය කියන විදිහට ඉන්න ඕනේ. ඔබට මතක ඇති, එක පාරක් ගාලුමුවදොර කිට්ටුවට හමුදා ට්‍රක් රථ ගෙනල්ලා පෙළගස්සලා තිබුණා. ඒ වෙලාවේ ඔය ඇමරිකානු තානාපතිනිය, එක ඇමති කෙනෙකුට සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට කතා කරලා කියනවා, ‘ඔය ගෝඨා ගෝ ගමේ කට්ටිය අරන් යන්නද හදන්නේ? ඒක කරන්න එපා! එහෙම වුණොත් IMF ප්‍රෝග්‍රෑම් එක නතර වෙයි.’ කියා. ඉන් පසුව අර ට්‍රැක් රථ පෙළ ආපසු ගියා. ඒ විදිහට ගෝඨාභයවත් පාලනය කළා. අරගලයත් පාලනය කළා

අරගලයත් පාලනය කළා

අරගලය පාලනය කළේ කොහොමද කියන එක මේ පොතේ කරුණු සහිතව තියෙනවා. මේකේ තිබෙනවා, ඇමරිකානු ආයතන මුදල් පොම්ප කරපු හැටි. අහවල් පුද්ගලයාට කියලා නැහැ. මේකේ තියෙන්නේ ‘නීතිඥ වෘත්තිය බලගැන්වීම සඳහා මෙච්චර මුදලක් අහවල් ආයතනයට’ ආදී වශයෙන්. හැබැයි ඉතින් දැන් අනෙක් අය විගණනය කරලා බලන්න ඕනේ, ‘මේ ආයතනවලට ලැබුණු සල්ලි ටික කාට කාටද බෙදිලා ගියේ?’ කියලා. අපිට මේ අවබෝධය නැති වුණොත් නැවත වතාවක් අපි නොදන්නා විදිහේ අරගලයක කොටස්කාරයෝ වෙන්න පුළුවන්.

‘පැතුම් කර්නර් – දමිතා අද කොතැනද?

බලන්න අරගලයේ හිටපු පැතුම් කර්නර් දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව. එයා තමයි එදා ‘අරගලයේ ඩිජිටල් වීරයා.’ එයා දැන් කියනවා, ‘මගේ ආර්ථික දර්ශනය තමයි රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා මං එයත් එක්කයි ඉන්නේ.’ කියලා. දැන් දමිත නෝනා ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා ගාව. එදා එයා තමයි ‘විහාර මහා දේවිය.’ ඒ කාලයේ ‘විහාර මහා දේවීලා, දුටුගැමුණුලා’ ක්ෂණිකව හැදුණා. දැන් ඒ එක එක්කෙනා නියම චරිත රඟ දක්වනවා. එයාලා ඒ වෙලාවේ නිර්පාක්ෂිකයි. මුලින් ගාලුමුවදොර අරගලයට ‘ආදරයේ අරගලය’ කිව්වා. අන්තිමට ඉතාම බිහිසුණු ජවනිකා එක්ක තමයි ඒක අවසන් වුණේ.

ලෝක බලාධිපත්‍යයේ තියුණු පරිවර්තනයක්

දැන් අපි මේ කියාගෙන ආවේ ලෝකයේ සිදු වන නව පරිවර්තනය ගැනයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. බටහිර බලවතුන් ඒ පරිවර්තනය වළක්වන්න උත්සාහ කරද්දී ලංකාව කියන්නේ පිහිටීම අතින් ඉතා වැදගත් තැනක්. මහාචාර්ය ටියුඩර් වීරසිංහ මැතිතුමන් කිව්වා වගේ දැන් ආසියාව තමයි ලෝකයේ ඊළඟ පරිච්ඡේදය ලියවෙන තැන. BRICS හවුලෙන් වෙනම මුදල් ඒකකයක් ආවාම දැන් ඒකට එකතු වෙන්න තව බලන් ඉන්නවා සෞදි අරාබියාවත්. BRICS හවුලේ දැනට ඉන්නවා ලෝක ජනගහනයෙන් භාගයක්. ඊට ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකක්, ලෝක ආර්ථිකයෙන් 60%ක්,
ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 31.5%ක් අයත්. දැන් බොහෝ රටවල් BRICS හවුල එක්ක එකතු වෙන්න අලුතෙන් ඉදිරිපත් වෙනවා. ඒ අතර වන මෙක්සිකෝව දකුණු ඇමරිකාවේ තිබෙන දෙවැනියට විශාල ආර්ථිකයට හිමිකම් කියන රටයි. ඊජිප්තු පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත වෙනවා BRICS එකත් එක්ක එකතු වෙන්න පූර්ණ එකඟතාව පළ කරලා. දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍යවරිය වන නලෙඩි පැන්ඩෝර්(Naledi Pandor) මහත්මිය කියනවා, ‘BRICS සමඟ එකතු වෙන්න දැනට රටවල් දොළහක ඉල්ලීම් ලිපි ලැබිලා තියෙනවා’ කියලා. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, ඇල්ජීරියාව, ආජන්ටිනාව, මෙක්සිකෝව, නයිජීරියාව ඊට අමතරව ඉන්දුනීසියාව, ඉරානය, බංග්ලාදේශය, තායිලන්තය, සිරියාව හා සෙනෙනගාලයත් එතැන ඉන්නවා. එතකොට ඔබට පෙනෙන්නේ නැද්ද, දැන් ලෝකය කොතැනටද යමින් සිටින්නේ කියලා. අර පරණ වලව්වේ හාමුදුරුවරු දිහා බලාගෙන, පිඟාන දික් කරගෙන ඉන්න ඕනෙ වෙලාවක්ද මේ වෙලාව? මේක අලුත් මහා පරිවර්තනයක ප්‍රසව වේදනාවෙන් පෙළෙන වෙලාවක්. ඉදිරි අවුරුදු දහය කියන්නේ ලෝක බල ආධිපත්‍යය තියුණු ලෙස පරිවර්තනය කරන වකවානුවක්.

ගෝල්ෆේස් අරගලය සහ ලංකාවේ පිහිටීම

මදක් සිතන්න, මේ අරගලය ලංකාවට එන්නේ මෙතැන ආසියානු කලාපයේ පිහිටීම අතින් ඉතා වැදගත් ස්ථානයක් නිසයි. මං මේක මීට කලිනුත් කියලා තියෙනවා. නමුත් අදත් කියන්න ඕනෑ. 15 වන සියවස අවසානයේදී පෘතුගීසින් ලංකාවට ආවාම පෘතුගාලයේ එම්මානුවෙල් රජතුමන් තම ගෝවේ ප්‍රතිරාජයා වූ ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාට ලිපියක් යොමු කරනවා. ඒ ලිපියෙන් ලංකාවේ පිහිටීමේ වැදගත්කම අවධාරණය කර ඇත්තේ මෙසේයි. ‘අපට ලැබී ඇති ආරංචිවලින් පෙනී යන්නේ නම්, පෙරළා එන ගමනේදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබුණොත් යුෂ්මතාට ඉන්දියාවේ වැදගත් රාජ්‍යයක් වන ලංකාවට පැමිණිය හැකි බවය. එය ධනයෙන් ආඪ්‍ය වන්නා සේම එයින් අපට ලද හැකි ලාභ ප්‍රයෝජන ද අතිමහත්ය. එහෙයින් යුෂ්මතා එහි පැමිණ බලකොටුවක් ගොඩනගා එහි ආරක්ෂාවට සෑහෙන තරම් නැව් හා හේවායන් නැවැත්විය යුතුය. අපට පෙනී යන තවත් කරුණක් නම් දිවයිනේ ඉතා කදිම කුරුඳු හා නොයෙක් වර්ගයේ මුතු ද ඇතුන් ද අගනා වූත් ලාභගත හැකි වූත් වෙනත් වෙළඳ භාණ්ඩයන් ද ලැබෙන හෙයින් හා එය බෙංගාලයේ වරායට හා මලක්කාවට ද කයාල් නම් ස්ථානයට ද ඉතා ආසන්නව පිහිටා තිබෙන හෙයින් ද මලක්කා සමුද්‍ර සන්ධිය හා බෙංගාල වරාය හා යනෙන නෞකා මාර්ගයේ පිහිටා තිබෙන නිසා කිසිම නැවකට එය නොදැක හෝ ඊට නොදැනුවත්ව යා නොහැකි හෙයින් හා දූපත් දොළොස්දාහේ මුහුදට ඉතා ආසන්න හෙයින් ද එහි ගොඩනගන බලකොටුව ඉන්දියාවට ඉතා ආසන්න හෙයින් ද යුෂ්මතා අපේ නියෝගය පරිදි බලකොටුවක් තැනීමට සියලු පරිශ්‍රම දැරිය යුතු බවය. එපමණක් නොව, යුෂ්මතාගේ ප්‍රධාන වාසස්ථානය එය විය යුතු බව ද අපට පෙනේ. ඒ කරණ කොටගෙන යුෂ්මතා සියලු දෙයෙහි මධ්‍යස්ථානය වන්නාක් මෙන්ම එයින් අපගේ මෙහෙයත් පෞද්ගලික වශයෙන් යුෂ්මතාත් දැනට වඩා ආනුභාව සම්පන්න වේ. උක්ත ප්‍රකාර යුෂ්මතාගේ ප්‍රධාන මධ්‍යස්ථානය මෙකී දිවයින කොට ගත් කල යුෂ්මතා පෙරදිග අප සතු සියලු බලකොටුවලට ද සියලු දෙයෙහි ද මධ්‍යස්ථානය වන හෙයින් එතැන් සිට අන් කිසිම තැනක සිටිනවාට වඩා හොඳින් සියලු කාර්යයන් නිසි මග යොදවන්නට හා ඒවාට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නටත් යුෂ්මතාට අවස්ථාව ලැබේ. එහෙයින් අපේ අභිමතය වන්නේ ද අපගේ රාජ නියෝගය වන්නේ ද යුෂ්මතා මෙය මුදුන් පැමිණවීමට ව්‍යාවෘත විය යුතු බවයි.’

ඇමරිකාවේ ප්‍රබල භූමිකාව

2015දී ජෝන් කෙරී, එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට ආවා. ඔහු ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී දේශනයක් කළා. ඒ දේශනයේදී එතුමා කියනවා, අර 15 වැනි සියවසේ පෘතුගාලයේ රජු කියන ලද කතාව වෙන විදිහකට. ‘නුඹලාගේ රට පිහිටා ඇත්තේ අප්‍රිකාවේ, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ මධ්‍ය ලක්ෂ්‍යයකය. ඒ ඉන්දියානු සාගරයේ, ලෝකයේ වැදගත්ම වාණිජ ප්‍රවාහන මාර්ගයයි. ශ්‍රී ලංකාවට එහි ගැඹුරු වරායවල් සහ උපායමාර්ගික පිහිටීම නිසා නවීන ලෝකයේ වේගයෙන් නැඟී සිටින ඉන්දියානු ශාන්තිකර කලාපයේ නාභිය බවට පත්විය හැක. ශ්‍රී ලංකාව විසින් එම තත්වය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකාවට තමන් සතු ආර්ථික හා ආරක්ෂක හැකියාවන් යොදා ගනිමින් ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැක.’ යනුවෙන් ඔහු පැවසුවා. මෙහි යටිපෙළ අරුත ගත්තොත් ‘ප්‍රබල භූමිකාව ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය බිඳවැට්ටිය යුතුව ඇත. අඩපණ කළ යුතුව ඇත. අසාර්ථක කළ යුතුව ඇත. ආර්ථික හා දේශපාලන වශයෙන් පරඬැලක් බවට පත් කළ යුතුව ඇත. එසේ කරන ලද කල්හි අපේ වැඩේ කරගත හැකිය. ඒක කොරගන්න සාමාන්‍ය ක්‍රමයට බැරිය. අසාමාන්‍ය උපායඋපක්‍රම පාවිච්චි කළ යුතුය.’ යන්නයි. ඒකට බ්ලොග්කරුවන් අල්ලන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ. සෝෂල් මීඩියා වීරයෝ හදන්න ඕනේ. ඒගොල්ලොන්ට හොඳට ගෙවන්න ඕනේ. මම මේ හැම මිනිහෙක් ගැනම නොවෙයි කියන්නේ. ඒකට සංඝ සමාජයට ප්‍රසිද්ධියේ ගහන්න ඕනේ. ‘බඩ්ඩ’ කියන්න ඕනේ. දළදා හාමුදුරුවන්ට ‘ලබ්බ’ කියන්න ඕනේ. සමාජයේ පිළිගත් පුරුෂාර්ථ, පිළිගත් මත ඒවා ඔක්කොම බින්දුවට වට්ටන්න ඕනේ. ඒ කියන්නේ. සමාජ සංස්කෘතික වටිනාකම් හැම අතින්ම ඉවර කරලා දාන්න ඕනේ. අර ලස්සන ගෑණු ළමයින්ට කරදර වැඩියි වගේ මේ පිහිටීම අතින් තියෙන සුවිශේෂ ස්ථානය නිසා ශ්‍රී ලංකාවට තිබෙන ඇල්ම බැල්ම වැඩියි.

‘ටොප් සීක්‍රට් මිෂන්’

පසුගිය පෙබරවාරි 14, ආදරවන්තයින්ගේ දිනයේදී ලංකාවට ආවා විශේෂ ඇමරිකානු කණ්ඩායමක්. ඒක ගැන සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා අපි පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක කාර්යාලය මගින් යෝජනාවක් දුන්නා. එතැනදී යෝජනාවේ තිබූ වික්ටෝරියා නූලන්ඩ්ගේ නමත් මැකුවා. ඇමරිකාව යන රටේ නමක් කැපුවා. මෙතෙක් ඒ ගැන මත දැක්වූයේ උත්තර ලංකා සභාගයේ අපි නියෝජනය වන පක්ෂවල මන්ත්‍රීවරුන් පමණයි. වෙන කිසිම කෙනෙක් ඒ ගැන කටක් ඇරියේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක තෙමේ ද කිසිවක් කිව්වේ නැහැ. ඉස්සර නම් ජනතා විමුක්ති පෙරමුණ තමයි ඔය වගේ ‘ටොප් සීක්‍රට් මිෂන්’ ආපු ගමන් ඒ අවධානම අරගෙන රටට මේවා කියන්නේ. නමුත් ඔවුන් ඒ ගැන මේ වෙනකන් කෙළ බිඳක් කටින් හෙළුවේ නැහැ. ඉහත දිනයේ ඇමරිකානු ගුවන් හමුදාවට අයිති භාණ්ඩ ප්‍රවාහන ගුවන් යාත්‍රා දෙකකින් 20 දෙනෙකුගේ කණ්ඩායමක් කටුනායකට ආවා. මේ විසිදෙනාගේ කණ්ඩායමේ හිටියා සීඅයිඒ ප්‍රධානියා විලියම් බර්න්ස්. ඊළඟට තව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු ද හිටියා. මේ අය කවුරුත් පරීක්ෂා කරලා බැලුවේ නැහැ. ගුවන්තොටුපළ අධිකාරියේ සභාපතිතුමාමයි මේ අයව කෙලින්ම එළියට ගෙනාවේ ජනාධිපතිවරයා යන්න එන්න පාවිච්චි කරන වීවීඅයිපී පර්යන්තය හරහා. ඒ මොහොතේ කටුනායක – කොළඹ අධිවේගී මාර්ගය වැහුවා. එක වාහනයකට ඇතුළු වෙන්න දුන්නේ නැහැ. මේගොල්ලෝ කොළඹට ආවා. ඇවිල්ලා රටේ ජනාධිපතිව, ආරක්ෂක ලේකම්ව, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාව හමුවුණා.

ජනපති හතරෙන් තුනකටම එකඟයි

ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ඔවුන් ප්‍රධාන ඉල්ලීම් හතරක් ඉදිරිපත් කළා. එක, අපේ රටට එන දුරකථන ඇමතුම් සම්බන්ධ වන මුහුද හරහා එන කේබලය ටැප් කරන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න කියන එක. ඒ කියන්නේ පැමිණෙන ඇමතුම් සියල්ලට ඇහුම්කන් දෙන්න ඉඩ දෙන්න කියන එක. ඒකට එකඟ වුණා. දෙක, ගුවන්තොටුපළේ කුමක් හෝ මෘදුකාංගයක් සවි කරලා ඒ මෘදුකාංගය හරහා ගුවන්තොටුපළෙන් යන එන සියලුදෙනාගේ ජීව දත්ත ලබාගන්න ඔවුන්ට ඕනෑ කියන එක. ඒකටත් එකඟ වුණා. තුන, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට උඩින් ඒගොල්ලන්ගේ කෙනෙක් තියන එක ඒකටත් එකඟ වුණා. හතර, ඒගොල්ලොන්ගේ ආරක්ෂක හමුදා සාමාජිකයන් ලංකාවට එනකොට, ඔවුන්ට පරීක්ෂා කර බැලීමකින් තොරව, අවි ආයුධ සහිතව, නිදහසේ රට තුළ සැරිසරන්න ඉඩ දෙන්න කියන එක. වික්‍රමසිංහ මහත්තයා කිව්වා, ඒක විතරක් පොඩ්ඩක් අපි තවදුරටත් සාකච්ඡා කරමු කියලා.

ඉන්දියාවටත් අනාරක්ෂිතභාවයක්

ඔවුන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ කාර්යාලයට යාමට පෙර කාර්යාලයේ හිටපු සියලුම නිලධාරීන්ගේ අවි අයින් කළා. හැබැයි ඒගොල්ලෝ අවි සහිතව ඇතුළට ගියා. කාර්යාලයේ කාපට් එක පස් පාරක් ගසලා බැලුවා. ඒවා ඉතින් මානසිකව බිඳවට්ටවන්න කරන ඒවා. දැන් බලන්න අර කේබලේ ටැප් කරනකොට ඒක ඉන්දියාවටත් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? මෙරට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාට උඩින් ඒගොල්ලන්ගේ එක්කෙනෙක් තියාගත්තාම ඒක ඉන්දියාවටත් බලපාන්නේ නැද්ද? එතකොට දැන් ලංකාවට විතරක් නොවෙයි මේකෙන් එක්තරා පරිමාණයකට අනාරක්ෂිතභාවයක් ඉන්දියාවටත් එනවා.

සියල්ල ඇමරිකාව අතට යන ගමනක්

දැන් මතුපිටින් බැලුවාම පෙනෙන්නේ චීනය ණය කළමනාකරණයට එකඟයි කියන ලියුම ලැබුණාට පස්සේ අයිඑම්එෆ් එක වැඩේ කළා කියලයි. මගේ නම් විශ්වාසය ඒක නොවෙයි, ඉහත කී ඇමරිකානු රජයේ ඉල්ලීම් හතරෙන් තුනකට එකඟ වීම තමයි අයිඑම්එෆ් ‘තුට්ටු දෙක’ ලැබෙන්න බලපෑවේ, කියන එකයි. ඒකනේ ඇමරිකානු තානාපතිනිය මහා භාණ්ඩාගාර ලේකම් හමුවෙලා ‘කොහොමද මේ සල්ලි වියදම් කරන්නේ?’ කියලා අහන්නේ. අයිඑම්එෆ් කියන්නේ ඇමරිකාවම තමයි කියලා ඒකෙන්ම පෙනෙනවානේ. දැන් ලංකාවේ ආර්ථිකයත් ඒගොල්ලෝ විසින් පාලනයට නතු කරගෙන ඉන්නවා.
දේශපාලනයත් දැන් ඒගොල්ලෝ බොහෝ දුරට පාලනය කරමින් ඉන්නවා. මොන පක්ෂ ද එකතු වෙන්නේ? මොන පක්ෂ ද ඉතුරු කරන්නේ? මොන පක්ෂ ද නැති කරන්නේ? කියලා තීරණය කරන්නේ එතැනින්. අපි හදන සමහර සභාග ගුප්ත හේතු මත එක පාරට නැති වෙනවා. ඒවා මේ දේශීය කාරණා නොවෙයි. එක්කෙනෙක් කියලා තිබෙනවා, ‘අපෝ මේගොල්ලෝ එක්ක හිටියොත් ඇමරිකානු තානාපතිනියගේ මූණ බලන්නත් බැරි වෙයි’ කියලා. ඉතින් ඒ මුහුණ බලන්න බැරි නම් මේ වැඩේ කෙරෙන්නේ නැහැ. මෙතැනට දේශපාලන පක්ෂ ඇද වැටී තිබෙනවා. මේක වැඩෙන්න ඉඩ දීලා බලන් ඉන්න ඕනෙ එකක් නොවෙයි.. මොන අවධානම මතු වුණත් මේක කඩන්න ඕනේ. මේක කඩන්නේ නැතුව ලංකාවට නැගිටින්නත් බැහැ.මහජනයා බලගන්වන්නත් බැහැ. සමාජයක් ඉතුරු කරගන්නත් බැහැ.

භික්ෂූන්වහන්සේට ගරහන්නේ ඇයි?

ටියුඩර් වීරසිංහ මහාචාර්යතුමා කිව්වා වගේ මානවීය ගුණාංගවලින් තොර තාක්ෂණික මිනිසකු හදන්න මේ අවසන් පැය කිහිපය තුළත් මේ බටහිර බලවතුන් උත්සාහ කරනවා. සමලිංගික හැසිරීම් අපරාධ වරදක් නොවන පනත් සංශෝධන එනවා. එතැනින් ඒක නතර වුණා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ඊට පස්සේ ඒක ප්‍රවර්ධනය කරන්න පියවරෙන් පියවර යන්න පුළුවන්නේ. මේ වෙන්නේ අපේ රට සමාජ, සංස්කෘතික, දේශපාලන, ආර්ථික යන හැම අතින්ම වට්ටන එක. භික්ෂූන්වහන්සේට ගරහනවා.ඒ අතර භික්ෂු සංස්ථාව තුළට අලුත් භික්ෂූන් දාලා සංගීත සංදර්ශනවල නටවනවා. භික්ෂු ප්‍රතිරූපයට දිගටම හානි කරනවා. භික්ෂුව, භික්ෂු සංස්ථාව තමයි මේ සමාජය රැක්කේ. සමාජ මතවාදය තීරණය කළේ, පාලනය කළේ. දැන් භික්ෂු සංස්ථාවට සමාජ මතවාදයට බලපෑම් කිරීමට තියෙන හැකියාව උදුරලා දානවා. ඒක දැනුවත්ව, හිතාමතාම කරන්නේ.

ඇයි අර ගොල්ෆේස් අරගල භූමිය තුළ වෙසක් දවසේ හදපු වෙසක් කූඩු කළුපාට වුණේ? කළු පාට බුද්ධාගමේ පාටක් නොවෙයි ඒක අරාජිකත්වයේ පාට. ඇයි අරගලයේ හිටපු එක තරුණයෙක් මුල් කාලයේ ඇහුවේ ‘ගමේ පන්සලේ බුදු පිළිමෙට මුස්ලිම් තරුණයෙක් ගහලා පොඩිපට්ටම් කළොත් අපි ඒ තරුණයාට ගහන්නේ නැහැ නේද? කියලා. අනිත් අය ඔක්කොම ටික ඒකට ‘ඔව්’ කිව්වා. ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය සහ මේ අතර තියෙන සම්බන්ධය මොකක්ද? බුදු පිළිමෙට ගැහුවාට ගහන්න ඕනේ නැහැ. හැබැයි ඔහුව පොලිසියට අල්ලලා දෙන්න ඕනේ. කිසිම ආගමකට ගරහන්න කාටවත් අයිතියක් නැහැ. එතකොට ඇයි එතැන මියගිය එල්ටීටීඊ අයව, මහා වීරු සැමරුම් තියලා සැමරුවේ?

‘නම්බර් වන්’

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උපදේශක ආශු මාරසිංහ තමයි එදා ‘ගෝඨා ගෝ ගම’ පළමුවැනි කූඩාරම ගැහුවේ. ඒ දිනවල රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ලෙස බීබීසී එකත් එක්ක සාකච්ඡාවක් කළා. එතැනදී ‘ඔබ මොකක්ද විදේශිකයන්ට දෙන පණිවිඩය?’ කියලා ඇහුවා. ‘මම කියනවා විදේශිකයන්ට එන්න ඇවිල්ලා ගෝඨා ගෝ හෝම් සටනට එකතු වෙන්න’ කියලයි එදා කිව්වේ.

ඒ අතරේ එයා ප්‍රසිද්ධියේ කිව්වා, ‘ගෝඨා ගෝ ගම පිරිස යවන්නේ නැහැ. ඒකට මං උදව් කරනවා. සනීපාරක්ෂක පහසුකම් ටිකක් සපයනවා’ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වුණු ගමන්ම, යාලුවෙක් ඇහුවා,’ ඔයාට තේරෙන්නේ නැද්ද? ඒගොල්ලෝ සුරක්ෂිත වුණ ගමන් ආයේ ඔයාවත් පන්නලා දායි නේද?’ කියලා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එවෙලේ යාළුවාට කියනවා, ‘මම දැනගන්න ඕනේ ඊට කලින් නම්බර් වන් වෙන්න’ කියලා. අවසානයේ එයා ‘නම්බර් වන්’ වුණා. අර ‘ප්ලෑන් ඒ’ එකට අනුව තිබුණේ ලිබියානු පන්නයේ අන්තර්කාලීන පාලනයක්. ‘ප්ලෑන් ඒ’ එකට ඉදිරියට යන්න බැරි වුණා, මෙයා මේක අතහැරියේ නැති හින්දා. දැන් මෙයා ජනාධිපති. වික්ටෝරියා නූලන්ඩ් ඊට පස්සෙත් ආවා. ඇවිල්ලා අතට අත දුන්නා. සාකච්ඡා කළා. අර ඇමරිකානු ඉල්ලීම් හතරෙන් තුනකට දැන් එකඟයි. මෙයාට වුණත් ඕනවට වඩා ස්ථාවර වෙන්න දෙන්නේ නැහැ. අස්ථාවරභාවය පවත්වාගෙන යමින් මෙයා ලව්වා කරගන්න බැරි වුණු ඔක්කොම වැඩ කරගන්න බැරි වුණත් කරගත හැකි ඉතුරු උපරිම ටික කරගන්න එක තමයි ඇමරිකාවේ බලාපොරොත්තුව.

අපේ වගකීම

මෙතැන ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය වන තිප්පොළක්, දඩබිමක්. මේ මාතෘකාවට අතවත් තියන්නේ නැතුව වෙන වෙන වීර කාව්‍ය කියමින් සිටින දේශපාලකයෝ දැන හෝ නොදැන, වක්‍රව හෝ සෘජුව සම්මාදම් වෙන්නේ මේ බල ව්‍යාපෘතිය දිගේලි කරන එකටයි. මේ රටට ආදරේ නම්, මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් අපි හැදුනා වැඩුනා නම්, මේ භූමියේ ගහකොළ, ස්වභාවධර්මයා දීපු සම්පත් අපි භාවිතා කළා නම් අපට වගකීමක් තියෙනවා මොන අවදානම ආවත් මෙන්න මේ පරාධීනත්වය හෙළි කරන්න. ඊට එරෙහි මහජන කතිකාවක් බලගන්වන්න විතරක් නෙවෙයි ඊට නායකත්වය දෙන්න. මේ කෘතිය ජනගත කිරීම මගින් අපි ආරම්භක වශයෙන් පියවර තබන්නේ අන්න ඒ වගකීම බලගැන්වීමේ දිශාවට කියන එක මම ඔබට අවධාරණය කරනවා

‘එහි කොටසක් ඇත ඔබටත්’

මම ඊයේ ගියා රූපවාහිනී සාකච්ඡාවකට එක්තරා නාලිකාවක. එතැනදී මගෙන් අහනවා, ‘පොතෙහි සඳහන් සිදුවීම්වලට සාක්ෂි තියෙනවා ද? කියලා. සාක්ෂි හරියට එන්න තව අවුරුදු විස්සක් විතර බලන් ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් සීඅයිඒ එක, ඒගොල්ලන්ගේ ලේඛන අවුරුදු විස්සකට පස්සේ නම් මකලා එළියට දානවා. එහෙම නැත්නම් අර වික්ටෝරියා නූලන්ඩ් සහ යුක්රේනයේ හිටපු ඇමරිකානු තානාපති සිදු කළ දුරකථන සාකච්ඡාවේ හඬ පටය වගේ එකක් එළියට එන්න ඕනේ. හැමදේටම ඒ නිසා සාක්ෂි දෙන්න බැහැ. හැබැයි අපි දෙන්න පුළුවන් බොහෝ සාක්ෂි මේකේ දීලා තියෙනවා. ඉතුරු ටික අනාවරණය කරගන්න එක සෙසු වගකිවයුතු රටවැසියන්ගේ වගකීමක්. එහි කොටසක් ඇත ඔබටත්.

අපි සිදු වූ සියල්ල නිවැරදිව තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපත් ගොදුරු බවට පත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂත් මෙහි ගොදුරක් බවට පත් වුණා. ඇමරිකානු තානාපතිතුමිය ගෝඨාභය රාජපක්ෂට දිගටම මානසික බාධක දැම්මා.අවසානයේ ඇමරිකාවට යන්න ඉන්දියාවෙන් ගුවන් යානාවක් එවන්න පොරොන්දු වෙලා හිටියා. එව්වේ නැහැ. හේතුව මොකක්ද? රනිල් අගමැති ධුරයෙන් අයින් කරන ලියුම දුන්නේ නැති හින්දා ඒක එව්වේ නැහැ. මේවා මේ සමාජය දැනගන්න ඕනේ.

යම් සමාජයක් දේශපාලන සාක්ෂරතාවයෙන් ඉහළ මට්ටමකට ආවොත් විතරයි ඒ සමාජය ආරක්ෂා කරගන්න පුළුවන්, පවත්වාගෙන යන්න පුළුවන්. දේශපාලන සාක්ෂරතාවයෙන් අපි මොට නම්, විෂම කුණාටු – රැලිවල ගොදුරු බවට පත්වෙන එක ඇරෙන්න සමාජයට වෙන ඉඩක් ඉතුරු වෙන්නේ නැහැ.

මෙන්න මේ දේශපාලන සාක්ෂරතාව බලගැන්වීම සඳහායි අපි මේ කෘතිය ජනගත කරන්නේ. හෙට සිට සමාජ මාධ්‍යවල අපට ගරහන එක වැඩිවේවි. හෙට සිට අපිව ඉලක්ක කොටගෙන එල්ල කරන ප්‍රහාරය වැඩිවේවි. ඒ කිසිවක් කිසිවිටෙක ප්‍රශ්නයක් කර නොගෙනයි අපි අපේ ඇත්ත අවංක දේශපාලන භාවිතාව ඉටු කරන්නේ. ඒ ක්‍රියාන්විතය සමඟ ඔබේ දායකත්වය ඔබේ හැකියාව, ඔබේ ශක්තිය ඒකාබද්ධ කරන්න කියා ඉල්ලනවා. අද අපේ ආරාධනාව පරිදි මේ අවස්ථාවට පැමිණි, ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට, ඒ වගේම අපේ කලාකරුවන්, විද්වතුන් ඇතුළු සියලුමදෙනාට මගේ කෘතවේදීත්වය, ගෞරවය හා ප්‍රණාමය පුද කරමින්, මාතෘ භූමියට ජයවේවා! ඔබ සැමට ජයෙන් ජයම වේවා’යි කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.”

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රට කැළඹූ විමල්ගේ ‘නවය සැගවුණු කතාව’ මෙන්න.

රට කැළඹූ විමල්ගේ ‘නවය සැගවුණු කතාව’ මෙන්න.

රට කැළඹූ විමල්ගේ ‘නවය සැගවුණු කතාව’ මෙන්න.

රට කැළඹූ විමල්ගේ ‘නවය සැගවුණු කතාව’ මෙන්න.