සියයට විස්සකට වැඩි ප්‍රතිශතයකින් විදුලිය ගාස්තු අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට නිර්දේශ කර තිබේ.
පවතින තත්ත්වය මත සියයට තිස් තුනකින් විදුලිය ගාස්තු අඩු කළ හැකි බව කාරක සභාව කොමිෂන් සභාවට පෙන්වා දී ඇත. විදුලිබල මණ්ඩලය කොමිෂන් සභාවට යෝජනා කර ඇත්තේ සියයට දහඅටකින් විදුලිය ගාස්තු අඩු කරන ලෙස ය. සියයට විස්සකට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු අඩු කරන ලෙස කාරක සභාව නිර්දේශ කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ සියයට දහඅටක ප්‍රතිශතය සහ සත්‍ය වශයෙන් ම අඩු කළ හැකි ප්‍රතිශතයත් සලකා බලමිනි.
එමෙන් ම විසන්ධි කිරීමෙන් පසු නැවත විදුලිය සම්බන්ධතාව ලබා දීමේ දී අය කරන රුපියල් තුන්දහසක මුදල් රුපියල් එක්දහස් පන්සියයක් දක්වා අඩු කරන ලෙසත් කාරක සභාව කොමිෂන් සභාවට නිර්දේශ කර ඇත.
මෙම නිර්දේශ සඳහා කොමිෂන් සභාව එකඟතාව පළ කළ බව එම කාරක සභාවේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී වලේබොඩ ‘අරුණ’ට පැවසීය. විදුලිබල මණ්ඩලය අනවශ්‍ය වියදම් රැසක් පෙන්වා ඇතැයි ද සත්‍ය වශයෙන්ම ගතහොත් මණ්ඩලය උපරිම වශයෙන් ලාභ ලබමින් සිටින බව ද සභාපතිවරයා කීවේය.