අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ලබාදීමට තිබෙන හැකියාව සොයා බලා එහි ප්රගතිය මේ මස 27 වන දා අධිකරණයට දැනුම් දෙන ලෙස අභියාචනාධිකරණය අද (21) නීතිපතිවරයාට විවෘත අධිකරණයේ දැනුම් දුන්නේය.
ජීවිත තර්ජන වලට මුහුණපා සිටින තමන්ට නිසි ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම්දීම සිදු කළහ.
ශානි අබේසේකර ට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට තිබෙන හැකියාව සොයා බලන ලෙස අභියාචනාධිකරණය ඉකුත් නඩු දිනයේ නීතිපතිවරයාට නියම කර තිබුණි.
මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය කර දක්වමින් මෙහි ප්රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාළ නියෝගයේ ප්රගතිය දැනුම් දීම සඳහා පෙත්සම මේ මස 27 වනදා කැඳවන ලෙසත් අධිකරනය නියෝග කළේය.