මෙයට මාස තුනකට පමණ පෙර කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මිලදී ගත් කුකුළු පැටවුන් නිසි ලෙස නොවැඩීම නිසා එම කුකුළු පැටවුන් හදා වඩා ගැනීමට හා බෙහෙත් හේත් ගැනීමට තමන්ට වැය වූ රුපියල් ලක්ෂ හතරකට වඩා වැඩි මුදල විකුණුම්කරුවන්ගෙන් ලබාදෙන්නැයි ඉල්ලා ගිරිතලේ යාය එක පදිංචි හතළිස් පස් හැවිරිදි ගොවියකු පැමිණිලි කර ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
ගිරිතලයේ පදිංචි ගොවි මහතා විසින් මෙයට මාස තුනකට පෙර කුකුළු පැටවුන් 250 දෙනකු එකකු රුපියල් 230 බැගින් වූ මුදලකට මිලදීගෙන තිබිණි. කුකුළු වෙළෙන්දා විසින් කුකුළු පැටවුන් අලෙවිකර තිබුණේ දුඹුරු පැහැති කිකිළියන් බව පවසමිනි.
එහෙත් ටික දිනක් යන විට කුකුළු පැටවුන්ගේ දුඹුරු පැහැය නැතිවී ඔවුන් සුදු පැහැති වන්නට පටන්ගෙන ඇති අතර එම පැටවුන් කිකිළි පැටවුන් නොව කුකුළු පැටවුන් බවද හෙළි වී ඇත.
දවස් 103ක් පසුවීත් කුකුළු පැටවුන් නොවැඩීම නිසාත් ඔවුන් මසට හෝ අලෙවි කර ගැනීමට නොහැකිවීම නිසාත් කුකුළු ගොවිපළ පවත්වාගෙන ගිය ගොවි මහතා මෙසේ පොලිසියට පැමිණිලි කර තිබේ.
ඔහු පොලිසියට පවසා ඇත්තේ කුකුළු වෙළෙන්දා විසින් කුකුළු පැටවුන් පාටකර තමන්ට අලෙවිකර ඇති බව හැඟී යන බවය.
එමෙන්ම මිලදී ගත් කුකුළු පැටවුන් 250 දෙනා අතරින් දැනට සිටින්නේ කුකුළන් 103 දෙනකු බවත් තමන්ට එම සතුන් රැකබලා ගැනීමට ආහාර දීමට හා බේත්හේත් කිරීමට රුපියල් ලක්ෂ හතරක් පමණ වැය වී ඇති බවද ඔහු පොලිසියට පවසා ඇත.
සිද්ධිය පිළිබඳව සැකපිට කුරුණෑගල පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු බන්ධනාගාරගතව සිටින බව පොලිසිය කියයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත හිඟුරක්ගොඩ වැඩ බලන සහකාර පොලිස් අධිකාරී ප්‍රගති ලක්මින අබේසිංහගේ මග පෙන්වීම මත මින්නේරිය වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමනවීර විවිධ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරිසර නිලවීර සැරයන් රත්නායක (68523) කාන්තා පොලිස් කොස්තාපල් නිලූකා(226) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.